Saturday 22 September 2018

තස්ලිමා නස්රීන් ලේඛිකාව



ඇය තරම් මුස්ලිම් ලෝකයේ වෛරයට පාත්‍රවූ රචිකාවක් සොයාගැනීම දුර්ලභය. ඇය අද ස්වීඩනයේ අප්‍රකට ජීවිතයක් ගතකරන්නේ ඇය මරා දැමීමට මුස්ලිම් අන්තවාදීන් තැත්කරන හෙයිනි. ඇය ලොව පහළවූ අභීත ලේඛිකාවකි.ඇය ජගත් විචාරකයන්ගේ සම්භාවනාවට පාත්‍රවූයේ මුස්ලිම් ලෝකයේ නොපනත් කම් ගැන ලියූ නිසාවෙනි. මෙම ග්‍රන්ථය ඇගේ මව් භාෂාව වූ බෙංගාලි බසින් ද හින්දි, මරාති, මලයාලම්, ඉංග්‍රීසි, ප්‍රංස, ජර්මන්, ස්පාඤ්ඤ, ස්වීඩන්, අරාබි භාෂාවලින් ද පළවී තිබේ. ඈ ලියූ ග්‍රන්ථ අතර Oporpokkho (The Opponent) 1992 Shodh (Revenge) 1992 Nimontron (invitation) 1993 Phera (Return) 1993 Bhromor Koio Gia (Tell him the Secret) 1994 Lajja (Shame) Forashi Premik (French love) යන ග්‍රන්ථ ප්‍රධාන වේ.
ලෝකයේ ගමන් මඟ වෙනස් කළ මේ කතුවරියන් තුළ තුබූ අභීත භාවයත් සමස්ත ධරණීතලයේ සුන්දරත්වය හා අසාධාරණ සංස්කෘතීන්වල සංඝට්ටනයත්, ආගමික හස්තයේ ක්‍රෑරත්වයත් පුරුෂාධිපත්‍යයේ නව මුහුණුවරත්, කාන්තා හදවතේ අසමසම සුන්දරත්වයත් වනන්නට සමත් උත්කෘෂ්ට ප්‍රතිභාව හා වජ්‍ර බුද්ධියත් සුළුකොට තැකිය නොහැකිය.
මේ කතුවරියන්ගේ ආගමනයත් සමඟම ලෝකයේ පුරුෂයන් විසින් අත්කරගත් සාහිත්‍ය ක්‍ෂේත්‍රය ක්‍රම ක්‍රමයෙන් තමන් සතු කොට ගනිමින් සාහිත්‍ය හරහා පුරුෂයන් වැපිරූ ප්‍රෝඩාවේ ඊනියා සුන්දරත්වයට පහර දෙමින් නව වීමංශනාක්ෂියකින් වනිතාවන්ට ලෝකය දෙස බලන්නට අවස්ථාව ද චින්තනය ද උරුම කර දී තිබේ.
කාන්තාව ඉතා දුර්වල සත්ත්වයෙකැයි කියන්නන්ට ද කාන්තාව සෑම පැත්තකින්ම පුරුෂයන්ට වඩා පහත් යැයි තර්ක කරන්නන්ට ද කාන්තාව ලිංගික කාර්යයේදී වඩාත් පහත් සත්වයෙකැයි පවසා ජුගුප්සාජනක කතා කියන්නන්ට ද නවාල් එල් සාදාවි හා තස්ලිමා නස්ලින් වැනි ලේඛිකාවන් මරු පහර එල්ල කොට ඒ අඥාන අතාර්කික මත සුණුවිසුණු කොට ඇත.
සාහිත සටන් බිමේ මහ ගජනා ප්‍රහාර පුරුෂ පක්ෂය වෙනත් ආගමික සංස්කෘතික නෛතික බැමි වෙතත් එල්ල කළ ඇසිල්ලේ පුරුෂ පක්ෂය මේ අභීත කතුවරියත් ඝාතනය කිරීමට කැසකවමින් සිටියි.
මේ නිසා සමහර අභීත කතුවරියන්ට සිරගෙවල්වල ලගින්නට ද මව්බිමින් එපිට වෙස්වළාගත් ජීවිත ගතකරන්නට ද සිදුවී තිබේ.
කාන්තාව සැබෑ ජීවමාන සත්වයකු බවට පත්කර ඇත්තේ බුදුන් වහන්සේගේ ධර්මයෙන් හා කාල්මාක්ස්ගේ සමාජවාදී සංකල්පයෙන් පමණක් බවද රුසියානු මාතාවගේ ශ්‍රේෂ්ඨ ලේඛක පරපුර වෙතින් පමණක් ඇය ජීවිතය යළි ලද බවද මැදහත් විදග්ධ විචාරකයෝ පෙන්වාදෙති.
කෙසේ වුවද කාන්තාවත් පිරිමියාත් අතර වෙනස ශරීරාවයවවලින් පමණක් බවද ඇයට රටක් වුවද පාලනය කළ හැකි බවද ලෝකයේ විශිෂ්ට කාන්තා චරිත පෙන්වා දී ඇත. කාන්තාවන් වෙනුවෙන් අභීත අදහස් රළ පෙළ ලොවට දා කළ ලේඛිකාවන්ගේ සාහිත්‍ය ව්‍යාපාරය අදත් හෙටත් බැබළෙනු නොඅනුමානය

සංජිව රත්නයක

No comments:

Post a Comment